දේශීයව පවතින විශාල කිතුල් විශේෂයේම කුරු ප්‍රබේදයක් ලෙස පෙනී ගියද මෙම ශාකය දේශීය කිතුල් ශාකය අයත් ශාක ගනය යටතේම පවතින වෙනත් විශේෂයකට අයත් වේ. මෙම කිතුල් විශේෂ දෙක අතර සාමානතා මෙන්ම වෙනස්කම් ද පවතී. මලයා, මියර්මාර්, තායිලන්ත වැනි නැගෙනහිර ආසියාතික රටවල සම්භවය වී ඇති මෙම කිතුල් විශේෂය පසුකාලීනව ලංකාවට හඳුන්වාදී ඇති විදේශීය ශාක විශේෂයකි. මිටර් 12 ක් පමණ උසක් දක්වා වැඩෙන මෙම මිටි කිතුල් විශේෂයේ ප්‍රධාන ශාකයේ මුලින් ස්වභාවිකවම පඳුරු හට ගන්නා අතර එය දේශීය විශේෂය සමග පවතින එක් ප්‍රධාන වෙනස් කමකි. එසේම මෙම ශාකය වර්ධනය වන උපරිම උස සහ කඳේ විශ්කම්භයද දේශීය විශේෂය සමග සසඳන විට සැලකිය යුතු තරමකින් අඩුය. මෙම ශාකයේ හටගන්නා සංයුක්ත පත්‍රය මීටර් 1.2-2.7 දක්වා විශාලත්වයක් සහිතය. දේශීය කිතුල් ශාකය මෙන්ම උපරිම උසට ශාකය වර්ධනය වීමෙන් අනතුරුව පුෂ්ප මංජරීතුල පුෂ්ප හට ගැනීම සිදුවේ. එසේම පුෂ්ප මංජරී හටගැනීම ආරම්භ වන්නේ ශාකයේ පවතින ඉහලම සංයුක්ත පත්‍රයක පාදයේ සිට වන අතර ඉන්පසුව ක්‍රමයෙන් කඳ දිගේ පහලට පුෂ්ප හට ගැනීම සිදුවේ. පුමාංගී සහ ජායාංගී පුෂ්ප වෙන වෙනම පිහිටන අතර එක් ජායාංගී පුෂ්පයක් දෙපස පුමාංගී පුෂ්ප දෙකක් වන පරිදි ක්‍රමානුකූල සැකැස්මක් අනුව පුෂ්ප මංජරී තුල පුෂ්ප හටගැනීම සිදුවේ. මුලින්ම පිපෙන්නේ පුමාංගී පුෂ්ප වන අතර ඒවා පරවී වැටී ගොස් දින කිහිපයකට පසුව ජායාංගී පුෂ්ප පිපීම සිදුවේ. පුෂ්ප මංජරියේ විශාලත්වය සෙන්ටිමීටර් 30-60 අතර පවතී. ගෝලාකාර ඵලය සෙන්ටිමීටර් 1.2-1.4 විශාලත්වයකින් යුක්තය. ඉදෙන විට රතු පැහැවී පසුව දම්-කලු පැහැයට හැරේ. බීජය ගෝලාකාරය. මල් මැදීමෙන් ලබාගන්නා ෆ්ලෝයමීය යුෂයෙන් පැණි, හකුරු, රා වැනි නිශ්පාදන සිදුකල හැකි වුවත් ලැබෙන යුෂ ප්‍රමාණය අවම නිසා වැඩි දෙනෙක් ඒ සඳහා නැඹුරුවක් නොදක්වයි. වැඩි වශයෙන් මෙම ශාකය භාවිත කරනු ලබන්නේ භූමි අලංකරණ කටයුතු සඳහා වේ.
No related sites added.